ලිංගිකත්වය යනු මිනිස් සංහතිය ඇරඹුමේ සිට නිබඳ අවධානයටත් කුතුහලයටත් ලක්වන විෂය පථයකි. මානව ශිෂ්ටාචාරය ඇරඹුමේ සිට ඊට කිසියම් අලෙවි වටිනාකමක් ද ලැබි ඇති බවක් පෙනෙයි. ලොව ප්‍රථම වෘත්තිය වශයෙන් බොහෝ දෙනෙකු හඳුනාගෙන ඇති ගණිකා වෘත්තිය එළිදකින්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි.
මිනිස් සංහතියේ විකාශයත් සමග ඉතා සෘජු ලෙස සමාජ බද්ධ මාතෘකාවක් වශයෙන් පරිනාමය වූ ලිංගිකත්වය ඉතිහාසයේ යම් යම් අවස්ථාවන් හි පූජනීයත්වයට පත් වූ බව ද නිසැක ය. මාතෘ මූලික ඉන්දු නිම්න ශිෂ්ටාචාරයේ මාතෘ දෙවඟන පිදීමේ ප්‍රධානතම සංකේතය ඇගේ යෝනියයි. පසුකාලීනව භාරතයේ පැවැති වෛදික පීතෘ මූලික සමාජයේ දී මෙම පූජනීයත්වය පුරුෂ ලිංගය වෙතට ආරෝපණය කරන ලදී. ඒ ශිව ලිංගය පූජාර්හ වස්තුවක් ලෙස සැලකීමෙනි. අද ද ශිව ලිංගය හින්දුන්ගේ පරම පූජනීය වස්තුවක් ලෙස සැලකෙයි.
ලෙවි ස්ට්‍රවුස් යනු විසි වන සියවසේ ලොව බිහි වූ විශිෂ්ටතම මානව සහ සමාජ විද්‍යාඥයෙකි.  මානව සහ සමාජ විද්‍යා විෂය ක්ෂේත්‍රයේ පෙරැලිකාරයකු  වශයෙන් සැලකුණු ස්ට්‍රවුස් වරක් පවසා ඇත්තේ මිනිසාගේ  බොහෝ සංස්කෘතික භාවිතයන්  තුළින් ඔවුන්ගේ ලිංගිකත්වය ද නිරූපණය කෙරෙන බවකි.
ඔහුගේ මෙම ප්‍රකාශය නූතනය සමඟ කෙතරම් බද්ධ වේ දැයි අපට පුදුම සිතෙනුයේ වර්තමාන ජනප්‍රිය සංස්කෘතිය  තුළ ලිංගිකත්වය සඳහා ඇති  අසීමාන්තික අගැයුම සහ ඉල්ලුම පිළිබඳව සිතන විටය. එය අතීත සමාජයේ මිනිසා ලිංගිකත්වය කෙරෙහි දැක්වූ පූජනීය ආකල්පවලට කෙසේවත් නොදවෛනි තත්ත්වයකි.
ජනප්‍රිය සංස්කෘතිය ස්ථාපිත වීමට හා ප්‍රවර්ධනය වීමට ලිංගිකත්වයෙන් ලැබි ඇති පිටිවහල සුළුපටු නොවේ. මෙය තවත් එළි පිටම දැක්වුව හොත් ලිංගිකත්වය යනු ජනප්‍රිය සංස්කෘතියේ විකාශනය සහ ව්‍යාප්තිය සඳහා තුඩු දෙන ප්‍රධාන ගාමක බලවේගයකි.
මෙවන් තත්ත්වයක් යටතේ ජනප්‍රිය සංස්කෘතිය තුළ ලිංගිකත්වය ව්‍යාප්ත වීම, විවිධාංගීකරණයට ලක්වීම මෙන්ම සුභාවිතයටත් අවභාවිතයටත් නැංවීම ඉතා සුලබව දැකිය හැකි තත්ත්වයකි.
මේ දිනවල විකාශය වන, ජයප්‍රකාශ් ශිවගුරුනාදන් අධ්‍යක්ෂණය කළ ‘මුතු පලස’ ටෙලි නාට්‍යය තුළින් කලා ක්ෂේත්‍රය තුළ සිදුවන ලිංගික අවභාවිතයක් පිළිබඳව සාකච්ඡා කෙරේ. ඒ නිළියක වීමේ අරමුණින් ගමින් නගරයට පැමිණෙන සුරූපී තරුණියක කලා ක්ෂේත්‍රයේ පිරිස් විසින් ලිංගික අවභාවිතය සඳහා නැඹුරු කර ගැනීමට දරන වෑයම පිළිබඳ සිදුවීම් දාමයක් ඉදිරිපත් කිරීමෙනි.
ස්ත්‍රී දූෂණය, අපයෝජනය,  අපහරණය, කුට්ටනය ආදී නීතිමය වශයෙන් විවිධ නම්වලින් හැඳින්වෙන, සමාජයේ සිදුවන අනේකවිධ ලිංගික සුරාකෑම් පිළිබඳව කතාබහට ලක් කෙරෙන ටෙලි නාට්‍ය මීට පෙර අප කොතෙකුත් දැක තිබේ.
එහෙත්, කලා ක්ෂේත්‍රය තුළ සිදුවන ලිංගික අවභාවිතාව පිළිබඳව ප්‍රථමවරට සාකච්ඡා වනුයේ මෙම ටෙලිනාට්‍යයෙන් විය යුතුය. එනිසාම එය ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ ආන්දෝලනයකට ලක්ව ඇති බවක් ද පෙනෙයි.
මෙම ආන්දෝලනය කෙතරම් ප්‍රබලද යත් ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදය එම ටෙලි නාට්‍යයට විරෝධය දක්වමින්, එය විකාශය කරන මාධ්‍ය ආයතනයට පෙත්සමක් ඉදිරිපත් කොට ඇති බව ද දැන ගන්නට ලැබිණ.
එමෙන්ම පසුගිය සති කිහිපය තුළ මෙම සංසිද්ධිය සම්බන්ධයෙන් පුවත්පත් වෙත අදහස් පළ කළ කලා ශිල්පීන්, විශේෂයෙන් ජනප්‍රිය නිළියන් කිහිපදෙනකු කළ ප්‍රකාශ ද ඉතා වැදගත් ය.
මේ නිළියන් අතරින් සමහරකු ප්‍රකාශ කොට ඇත්තේ අපගේ ටෙලි නාට්‍ය ක්ෂේත්‍රය තුළ සිදුවන එවන් ලිංගික අවභාවිතාවන් තමන් අත් දකිනු තබා අඩුම තරමින් කිසිම දිනයෙක එවැන්නක් පිළිබඳව අසාවත් නොමැති බවකි. මේවා ද බුද්ධිමත් සහෘදයන්ගේ සංතීක්ෂණ අවධානයට යොමු විය යුතුය.
මෙහි දී මගේ සිහියට නැංවෙනුයේ ‘කාල් බි හෝම්බර්ග්’ නම් කතුවරයා ලියූ ‘ලිංගිකතා හා ජනප්‍රිය සංස්කෘතිය’ (sexualities and popular culture) නම් කෘතියයි. ‘ප්‍රාන්ස් කෆ්කා’ වැනි ‍ලේඛකයන් තම කලා කෘතීන් සඳහා පාදක කරගත් ලිංගිකත්ව වාද (Gender Issues) පිළිබඳ ක්‍රියාකාරී  ව්‍යුහය (mechanism) හෝම්බර්ග් තම කෘතිය මගින් මනාව විග්‍රහ කරයි.
ඔහු එහිදී අනාවරණය කරන අන්දමට ජනප්‍රිය සංස්කෘතිය තුළ සිදුවන ලිංගික භාවිතය අප සාම්ප්‍රදායික ජන සමාජයේ සිදුවන, නැතහොත් සයිමන් නවගත්තේගමයන් තම ‘සුද්දීලාගේ කතාවෙන්’ ගෙනහැර දැක්වූ ගැමි සමාජයේ ලිංගික සූරාකෑමකට වඩා ඉඳුරාම වෙනස්ය.
අප සාම්ප්‍රදායික  සමාජයේ දුගී ගැහැනියක බොහෝ විට පිරිමියකු උදෙසා තම ලිංගිකත්වය ප්‍රදානය කොට ඇත්තේ තම මූලික ජීවන අවශ්‍යතා සඳහා මිස සිය කාමාශාවන් සංතෘප්ත  කරගනු පිණිස නොවේ. එහෙත් හෝම්බර්ග් විස්තර කරන අන්දමට  ජනප්‍රිය සංස්කෘතිය තුළදී එම තත්ත්වය භාවිතයට  නැගෙනුයේ ඊට ඉඳුරාම  වෙනස් අයුරකිනි. එමඟින් සැබැවින්ම එහි ලිංගික  සූරාකෑමක් තිබේද යන්න නැවත නැවතත් සිතා බැලීමට ඔහු අප ‍පොළඹවයි.
කාන්තාවකගේ ලිංගික අගය වැඩිවීමට තුඩු දෙන සාධක කිහිපයකි. යෞවන බව හා රූමත් බව ඉන් ප්‍රධාන වේ. එමෙන්ම කවර හෝ ක්‍රමයක් ඔස්සේ ජනප්‍රිය සංස්කෘතික ධාරාවට පිවිසෙන බොහෝ කතුන් තුළ ඉහත කී සුදුසුකම් නොඅඩුව පවතින බව පෙනේ.
ඒ අනුව ඉදිරි ගමනක් යනු පිණිස රූපවාහිනී සිනමා වැනි ජනප්‍රිය කලා ක්ෂේත්‍රයකට පිවිසෙන තරුණියන්ට තමන් සතු  කුශලතාව සහ ශිල්පීය ප්‍රගුණතාවට අමතරව ඉහත සඳහන් සාධකවලින් ද අනියම් පිටුබලයක් ලබාගත හැකි බව  හොඳින්ම වැටහේ.
ඒ ක්ෂේත්‍රය තුළදී තමන් වෙත සෘජුව හා අනියමින් එල්ල වන ලිංගික යෝජනා නිසාය. කලා ක්‍ෂේත්‍රයේ පවත්නා කටුක යථාර්ථයක් වන එවැන්නක් පිළිබඳව නොදන්නා බවක් ක්‍ෂේත්‍රය තුළින්ම අසන්නට ලැබිම විස්මයට කරුණකි.
එමෙන්ම ජනප්‍රිය සංස්කෘතියේ ප්‍රධාන ගාමක බලයක් සහ තමන් සතුව ඇති වටිනා සම්පතක් වන රූමත් බව හා යොවුන්  බව මුල් කොටගත් ලිංගිකත්වය යොදාගෙන තම ඉදිරි ගමන යාමේ හෝ එය වඩාත් ජව සම්පන්න කර ගැනීමේ අදිටනක් කලා ක්ෂේත්‍රයට පිවිසෙන ඇතැම් තරුණියක තුළ ඇතිවීම අතිශය ස්වභාවිකය. මෙය ප්‍රසිද්ධියේ කතා කළ නොහැකි අසභ්‍ය දෙයක් වශයෙන් කෙසේවත් සැලකිය නොහැක.
එමෙන්ම එම ක්ෂේත්‍ර තුළ කිසියම් කීර්ති නාමයක්, පෞරුෂයක්, ප්‍රතාපයක් දනවන හෝ එම ක්ෂේත්‍ර තුළින්  ඉදිරියට යාමට තමන්ට අනියමින් හෝ පිටුබලයක් සපයා ගත හැකි වෙනයම් ක්ෂේත්‍රයකට අයත් පුද්ගලයකු සමඟ සහ සම්බන්ධතා ගොඩනගා ගැනීමේ ස්වභාවික නැඹුරුවක් මොවුන්ගෙන් සමහරකු තුළ ඇති වනු ඇත.
මෙබඳු තරුණියන් හා සබඳතාවයන්ට එළැඹෙන  ඉහත සඳහන් කළ පුරුෂයෝ ද හුදෙක් ලිංගික සංතර්පනයෙන් පමණක් නොසෑහෙති. මොව්හු බොහෝ විට එම යුවතියන්  කෙරෙහි එක්තරා අන්දමකට ආධ්‍යාත්මිකව බැඳෙති. ඒ මිනිසාගේ ලිංගිකත්වය හා ආධ්‍යාත්මිකත්වය අතර ඇති නෛසර්ගික සම්බන්ධතාව නිසා ය. එමෙන්ම මෙවන් පුරුෂයෝ තම ජීවන  අසංතෘප්තතාව පිටු දැකීමට ද එම අධ්‍යාත්මික බැඳීම ඉවහල් කර ගැනීමට වෙර දරති.
එමෙන් ම එවන් පුරුෂයන් බොහෝ විට සිතනුයේ මෙම තරුණියන් උදෙසා තමන් විසින් කරනු ලබන  කැපවීමට හිලව් වනු පිණිස ඔවුන් ද තමන් හා ආධ්‍යාත්මිකව ද බැඳෙනු ඇතැයි කියා ය. ‘
එහෙත් මෙම තරුණියන්ගේ චින්තන පරාසය හුදෙක් එම පුරුෂයන් කෙරෙහි පමණක් ආශක්ත වූවක් නොවේ. කලා ක්ෂේත්‍රය පදනම් කරගත්  ඔවුන්ගේ චින්තන පරාසය ඊට වඩා බෙහෙවින්  පුළුල් විය හැකිය, සංකීර්ණ විය හැකිය.
ඒ අනුව කාල් බි හෝම්බර්ක් මෙබඳු පුරුෂයන්ට අපූරු නාමයක් ද ප්‍රදානය කර සිටියි. එනම් ‘ආධ්‍යාත්මික එඩේරුන්’ (spiritual Shepherds) යන්න ය. ඔවුන් අනුන්ට පස්ගෝරසය ලබා ගැනීමට ඉඩ සලසමින් දෙනුන්ට තණ කවා  ‍පෝෂණය කරන බවක් ඔහුගේ මෙම ‘එඩ්ර’ යන සෝපාහාසාත්මක වදනේ සරල අරුත් ගැන්වීම ය.
එමෙන්ම මෙම සංසිද්ධිය අවසානයේ ‘නැටූ තොවිලයකුත් නැති බෙරේ පළුවකුත් නැති’ තත්ත්වයක් තුළ ඉච්ඡාභංගත්වයට පත් වන්නටත්  ජීවිතයේ ප්‍රබල පරාජයක් අත්කර ගැනීමටත් එම පුරුෂයන්ට ද සිදුවන බව හෝම්බර්ග් මනාව තහවුරු කරයි.
ඒ අනුව ‘මුතු පලස’ ටෙලි නාට්‍යයෙන් පැවසෙන කලා ලෝකයේ ලිංගික අවභාවිතය පිළිබඳ මෙවන් නවතම පැතිකඩ ද ඉදිරියටත් කලා නිර්මාණ තුළින් විවර කිරීම නූතන සමාජ විඥානය වඩාත් ‍පෝෂණය කිරීමට හේතුවනු ඇත. එමෙන්ම වත්මන් ඒකාධිකාරී බොළඳ රාමුවෙන් ඉවතට ඇද ටෙලි නාට්‍ය විෂය පථය විවිධාංගීකරණය කිරීමටත් එය බෙහෙවින් ඉවහල් වනු ඒකාන්ත ය.
-ආචාර්ය සාලිය කුලරත්න-http://lankatouch.com/