Tuesday 25 March 2014

ආදරය හා විවාහය යනු

ආදරය හා විවාහය යනු පාරිශුද්ධ සමාජසංකේතය
විවාහය යනු ස්‌ත්‍රියකට, පුරුෂයකුට ඔවුන් ජීවත් වන සමාජයේ අනාගත පාලනය උදෙසා දරුවන් බිහිකිරීමටත්, බාහිර පුද්ගලයන්ගේ තහංචියකින් තොරව අඹුසැමි සම්බන්ධතා පවත්වාගෙන යැම පිණිසත් සමාජය විසින් දෙනු ලබන නීත්‍යානුකූල අනුමැතියකි. බැලූ බැල්මට යාන්ත්‍රික ස්‌වරූපයක්‌ මෙන් දක්‌නට ඇති නමුත් මෙය නීත්‍යානුකූල අවසරය තෙක්‌ පැමිණෙන ගමනේදී මෙම ස්‌ත්‍රීන් සහ පුරුෂයන් තම තමන්ට ආශක්‌ත වූ තමාගේ අදහස්‌වලට වඩාත් ගැලපෙන්නා වූ සැකකරු හෝ සහකාරිය සොයා ගැනීමට වෙහෙසෙයි. ආදරය පිළිබඳ විවිධ තේමාවන් ඔස්‌සේ "සිහින සිතිජය" තුළින් කතා කළ අපි අද කතා කරන්නේ ආදරයකින් විවාහ දිවියක්‌ ඇරඹෙන ආකාරය ගැනයි.
ආදරය කායික බන්ධනයක්‌ නොවේ
නව යොවුන් වියේ පටන්ම බොහෝ දෙනෙක්‌ ආදරය කරමින් සොයන්නා වූ මෙම ප්‍රබල මානුෂීය හැඟීම සමාජ සංස්‌ථාවන් විසින් පිළිගනු ලබන්නේ ඒ නීත්‍යානුකූල විවාහය තෙක්‌ පැමිණි විට පමණි. එතෙක්‌ සෘජුව හෝ වක්‍රව යොවුන් පෙම්වතුන් වෙත සමාජය විසින් විවිධ අන්දමේ තහංචි පමුණුවනු ලබයි. එසේම විවාහයට පෙර ඔවුන්ගේ ආදරය ගැඹුරු කායික සම්බන්ධතාවන්ට විවර වීම අනුමත නොකරයි. හෙළාදකියි. වැඩිහිටි පරම්පරාව සහ සමාජය බාල පරම්පරාවෙන් පාරිශුද්ධ වූ ජීවිතයක්‌ විවාහයට පෙර අපේක්‍ෂා කරයි.
වර්තමානයේ මෙම පාරිශුද්ධ තත්ත්වයන් හෝ සමාජ අනුමැතියක්‌ පිළිබඳව තැකීමක්‌ නොමැතිව හිතූ හිතූ ආකාරයට හැසිරෙන වල්මත් වූ තරුණ තරුණියෝ සමාජයේ වෙසෙති. ජනමාධ්‍ය ඔස්‌සේ දිනපතා හෙළිදරව් වෙන්නා වූ බොහොමයක්‌ අපචාරයන් දෙස බලන විට තරුණ පරපුර ආදරය නමින් ආදරය නොවන විඳීම් අපේක්‍ෂා කර ඇති බව පෙනී යයි. ඒ හේතුව නිසාම ඔවුන් සමාජයේ ගර්හාවට පාත්‍ර වී නීතිය ඉදිරියේ වැරදිකරුවන් බවට පත්වනු දිනපතා දකින්නට අසන්නට ලැබේ.
විවාහය යනු පවිත්‍ර බැඳීමකි
සමාජයේ පවතින සියලුම ආකාරයේ ප්‍රතිමාන බිඳ දමා තම ආත්මාර්ථකාමී ලාභ අරමුණු ඉටුකර ගැනීම ආදරය නොවේ. එවන් සම්බන්ධතාවක්‌ නීත්‍යානුකූලව ගැටගැසීම විවාහය ද නොවේ. ආදරය හා විවාහය පාරිශුද්ධ සමාජ සංකේතයන්ය. මෙම සංකේත අතගා බැලිය හැකි ද්‍රව්‍යමය ස්‌වරූපයන් නොදරන මානසික බන්ධනයන්ය. මෙම පවිත්‍ර බන්ධනයන් ආශාවන් සන්තර්පනය සඳහා ඉවක්‌ බවක්‌ නැතිව හැසිරෙන අය අතර ඇති නොවේ. එසේම තමා විසින් මහත් වගකීමකින් සුරැකිය යුතු මානව ගුණධර්ම, සදාචාර නීති රීති, නොතකා හැර පටු ආත්මාර්ථකාමී මනෝභාවයන් ප්‍රකාශ කිරීමක්‌ ද නොවේ.
ආදරය සදාචාරය පෙරටුකොට පවතින්නකි. යුතු අයුතුකම් පෙරටුකොට සලකන්නකි. පුද්ගලයකුට තමන්ගේම යෑයි හැඟෙන ස්‌වාධීනත්වය සහ ආකල්ප පිළිගනු ලබන්නකි. මේ සකලවිධ සදාචාරාත්මක ධර්මතා සමඟ ඒකාන්විත වූ උත්තම මානෂීය හැඟීම් බෙදාගැනීම සැබෑ ආදරයයි. මේ ආදරය ලබාගන්නට නම් පළමුව අප තුළ මෙබඳු ආදරණීය ගුණධර්ම සංචිතයක්‌ ගොඩනඟාගත යුතුය.
එතුළින් ලෝකය දෙස බලන්නට, ලෝකයට ආදරය කරන්නට, ගරු කරන්නට පුරුදු විය යුතුය. එවිට මේ සමාජය යහපත්ව හා ගුණාත්මකව පවත්වාගෙන යැම සඳහා පනවාගෙන ඇති නිහඬ සම්මුතීන්, සදාචාර නීති, සංස්‌කෘතික ගරුධර්ම කෙමෙන් කෙමෙන් අපගේ හදවතේ ගැඹුරු ඉසව් වෙත සම්ප්‍රේෂණය වී සොඳුරු කල්පනා උත්පාද කරයි. මේ සොඳුරු කල්පනා තුළ ජීවිතය පිළිබඳ තැතිගැනීමක්‌ නැත. අවිනිශ්චිත බවක්‌ නැත. ලෝකය සතු සියලු සම්පත් තම දෙපා මුල ගොඩගහ ගන්නට තියෙන කාරණාවක්‌ ද නැත.
ජීවිතයේ සුන්දරතම මොහොත විවාහයයි
අතිශයින් නිහඬ වූ සංසිඳුනා වූ මේ හැඟීම ආදරය වේ. මේ සැබෑ ආදරය ඔබ තුළ ජනිත වූ පසු එය පවත්වාගෙන යැමට වැර වෑයම් කිරීමත් අත්‍යවශ්‍යය. එය ඔබගේ සෙවනැල්ල මෙන් ඔබ සමඟ නිරතුරුවම ළංවී සිටිනු ඇත.
සුන්දර යුවතිය, භද්‍ර යෞවනය මේ ආදරය ඔබ සැම කෙනෙකුගේම හදවතේ නිදිගත් යෝධයකු මෙන් ඔබට නොදැනී සැඟවී හිඳියි. ඔබට සෑම අතින්ම වඩාත්ම ගැලපෙන සහකරු හෝ සහකාරිය මුණගැසුණු පළමු මොහොතේම මේ නිදිගත් යෝධයා සෙමින් සෙමින් අවධි වේ. ඔහු අවධි වූ බව දැනෙන්නේ ඔබට පමණක්‌ නොවේ. ඔබ වටා සිටින්නා වූ සැමටම ඔබගේ ප්‍රබෝධවත් පරිවර්තනය දැනෙන්නට පටන් ගනී. ගුණදම්, සාරධර්ම යන සමාජ ධර්මතා රකිමින් පවත්වාගෙන යමින් ඔබ තුළ පැනනැඟීමේ ආදරය සමාජ ආශිර්වාදයන් සමගින් විවාහය දක්‌වා ගොස්‌ පති පතිනියන් වී අනාගත සමාජය සුවඳවත් කරන සුවඳ සුවඳ කැකුළු බිහිකරනු දකින්නට ඔබ වෙසෙන මේ සමාජයේ සියලු දෙනා මහත් ආශාවෙන් බලා සිටිති. එබඳු වූ පින්වත් දසුනක්‌ දුටු අතීතයේ කුමාරිකාවක්‌ ඇගේ සිත තුළ පැනනැගී මහත් වූ ප්‍රීතිය පළ කළේ අඳුරු කවියකිනි.
නිබ්බුතා නුත සාමානා - නබ්බුතා නූන සෝපිතා
නිබ්බුතා නුන සානාරි - යස්‌සායං ඉදි සෝපති
"මෙබඳු වූ පුතකු ලද මව ද නිවුණු තැනැත්තියකි. මෙබඳු වූ පුතකු ලද පියා ද නිවුණු තැනැත්තෙකි. කිසියම් තැනැත්තියක්‌ මෙබඳු සැමියකු ලද්දේ නම් ඇය සැබැවින්ම නිවුණේ වේ"
ඔබ ඒ පැසසුම් ලැබූ අතීත පරපුරේ සාඩම්බර වර්තමාන පුරුකක්‌ බව සිහිපත් කළ මැනවි. මේ අපූර්වත්වයෙන් පිරි මොහොත එනතෙක්‌ ඉවසා සිටීමෙන් යුග දිවියේ මිහිරි ඵල උපරිමයෙන් බුක්‌ති විඳින්නට ඔබට අවස්‌ථාව ලැබෙන බව කියන්නට ද මේ මොහොත යොදා ගනිමි.
උපුටාගැනිමකි.

No comments:

Post a Comment

හදවතේ තියෙන තෙතමනයට අපි ගැළපෙන ම නමක් දෙමු. ‘මනුෂ්‍යත්වය’………. ඔව්, එයට කියන නම තමයි මනුෂ්‍යත්වය. මි