සත්‍යයත් අසත්‍යයත් අතරින් අතුරුදහන් වූ ආගන්තුකයා
රාත්‍රිය උදා වී ඇති බැවින් මුළු මාර්ගයම පාළු බවක් උසුලයි. එකදු මිනිසෙක්වත් දක්නට නැත. ඉඳහිට වාහනයක් දෙකක් මංසන්ධිය හරහා ඒ මේ අත යයි. එක්වරම ඉදිරිපසින් මංසන්ධිය වෙත අධික වේගයකින් පැමිණෙන්නේ ලොරි රථයකි. ඒ සමගම වම්පසින් බයිසිකල් රික්ෂෝවක් මංසන්ධියට ඇතුල් වෙයි. බයිසිකල් රික්ෂෝව අධික වේගයකින් යුතුව ඉදිරියට එන ලොරි රථයේ හැපී සුණුවිසුණු වී යාමට මොහොතකට පෙර දකුණුපසින් රික්ෂෝව දෙසට විදුලි එළියක් වැනි යමක් පැමිණේ. රික්ෂෝව අසලදී එම විදුලි එළිය මිනිස්රූපී ජීවියෙකු බවට පත් වෙයි! රික්ෂෝව දෙසට අතක් දිගු කරන මේ තැනැත්තා රික්ෂෝවත් සමග එතැනින් අතුරුදහන් වන්නේ ලොරිය හා රික්ෂෝව එකිනෙක ගැටීමට ඔන්න මෙන්න තිබියදීය. ඊළඟ නිමේෂයේදී මංසන්ධියට අඩි කිහිපයක් ඈතින් විශාල එළියක් දිස් වන අතර එම එළිය තුළින් බයිසිකල් රික්ෂෝවත්, අභිරහස් පුද්ගලයාත් මතු වේ! දැන් රික්ෂෝව මුහුණලා ඇත්තේ මංසන්ධියේ වෙනත් දිශාවකට ය. ඒ වනවිට මෙම අත්භුත තැනැත්තාගේ මුහුණ සහ දෙඅත් සුදු පැහැයෙන් දිළිසෙමින් තිබෙන බවක් දිස් වෙයි. ඔහු හෝ ඇය රික්ෂෝව සමග අතුරුදන් වුණු ස්ථානයේත්, නැවත මතු වුණු ස්ථානයේත් කළු පැහැති වෘත්තාකාර සළකුණු 2 ක් දක්නට ලැබෙන අතර ඒවා ඉක්මණින්ම මැකී යයි. ලොරි රථය නවතා ගන්නා එහි රියැදුරා ලොරියෙන් බැස දිවවිත් රථය යටට එබී එහි ගැටුණු රික්ෂෝකරුවා සොයයි. එහෙත් ලොරිය යට මිනිසෙකු වත්, රික්ෂෝවක් වත් දක්නට නොමැත. නැවත හිස ඔසවා වටපිට බලන ලොරි රථ රියැදුරා දකින්නේ තම රථයේ ගැටීමට ආ රික්ෂෝකරුවා නිරූපද්‍රිතව වෙනත් අයෙකුද සමග මාර්ගයේ පසෙක සිටින ආකාරය යි. මේ අතරතුරේ තම දිළිසෙන දෑත් සාක්කු තුළට දමා ගන්නා ආගන්තුකයා තමා විසින් දිවි ගලවා ගත් රික්ෂෝකරුවා හෝ එදෙසට එන ලොරි රථ රියැදුරා දෙසවත් නොබලා ඉක්මණින් එම ස්ථානයෙන් බැහැරව යයි. ඔහුගේ හෝ ඇයගේ ගමන් විලාශය කාන්තාවකගේ බඳු ය. කම්පනයට පත්ව සිටින රික්ෂෝකරුවා පදික වේදිකාව මත වාඩි වේ. සිදු වූයේ කුමක්දැයි වටහා ගත නොහැකිව තුෂ්ණිම්භූත වූ ලොරි රථ රියැදුරා එතැනින් ඉවතට යන පුද්ගලයා දෙස බලා සිටියි...
මෙම දර්ශන පෙළ විශ්ලේෂණය කරන ලද වීඩියෝවක් පහත දැක්වේ. (මුල් පිටපත නොවේ.)
මෙම වීඩියෝව අන්තර්ජාලයට මුදා හැරුණු මොහොතේ සිට අද දක්වාම විවාදයට බඳුන් වන්නකි. එක් කණ්ඩායමක් මෙය සත්‍ය යැයි තර්ක කරද්දී අනෙත් කණ්ඩායම අසත්‍ය යැයි තර්ක කරති. ඔවුනොවුන්ගේ අදහස් කිහිපයක් විමසා බලමු.
෴පොළොවේ සටහන්ව ඇති වෘත්තාකාර සළකුණු෴ |
අනෙක් අතට මෙය අසත්‍යයක් බව පවසන අයගේ තර්ක ද නොසලකා හැරිය හැකි ඒවා නොවේ. මුලින්ම නැගුණු ප්‍රශ්නය වූයේ CCTV කැමරාවකින් මෙතරම් පැහැදිලි රූපරාමු ලබා ගන්නේ කෙසේද යන්නයි. මෙහි මුල් වීඩියෝව 720p ප්‍රමාණයේ සුපැහැදිලි රූපරාමු වලින් යුතු විය. (එහෙත් වර්තමානය වන විට HD තාක්ෂණයෙන් බල ගැන්වෙන CCTV කැමරා වෙළඳපොළට හඳුන්වා දී තිබේ.)
කෙසේ හෝ මෙම වීඩියෝව නිකුත් වී මාස කිහිපයකට පසු මෙය සත්‍ය යැයි පවසන්නන් නිහඬ කරවීමට සමත් ප්‍රබල සිදුවීමක් සිදු විය. ඒ චීන පරිගණක ක්‍රීඩා සමාගමක් වන Perfect World සමාගමේ Zhu Xian 2 නම් පරිගණක ක්‍රීඩාවට (මෙහි Jade Dynasty නම් ඉංග්‍රීසි සංස්කරණයක්ද තිබේ.) අයත් වෙබ් අඩවියේ Promotion Campaign තීරය යටතේ මෙම වීඩියෝව පළ වීමයි. Zhu Xian 2 පරිගණක ක්‍රීඩාව සුපිරි හැකියාවන්ගෙන් පිරිපුන් Dragon Totem Girl නම් තරුණියක වටා ගෙතෙන්නකි. මෙම වෙබ් අඩවියේ සඳහන් වූ අන්දමට ඔවුන් විසින් Zhu Xian 2 එළි දැක්වීමට පෙර රංගන ශිල්පිනියක යොදා ගෙන වීඩියෝ පට කිහිපයක් නිර්මාණය කර අන්තර්ජාලයට මුදාහැර ඇත. ඒ අතර Zhu Xian 2 හි සුපිරි වීරවරිය රෝගී ළමුන් හමු වූ අවස්ථාවක වීඩියෝවක්, අසරණ සතුන්ට ආහාර ලබා දෙන වීඩියෝවක් හා මෙහි සඳහන් වන වීඩියෝවද, තවත් මෙවැනිම ආකාරයේ සුපිරි හැකියාවන් දැක්වෙන වීඩියෝ 2 ක්ද වේ. (පහත රූපය බලන්න.) මෙම හෙළිදරව්වෙන් පසු ඉහත වීඩියෝව සත්‍ය යැයි තර්ක කළ පාර්ශවයට පරාජය භාරගැනීමට සිදු වුණු අතර අන්තර්ජාලය භාවිතා කරන්නන් සසල කළ පිටසක්වළ ජීවියා/සුපිරි මනුෂ්‍යයා පිළිබඳ ආන්දෝලනය යටපත් වී ගියේය.
එහෙත් ඒ තාවකාලික විරාමයක් පමණි. දැන් විවාදය නැවතත් ඇරඹී තිබේ. CCTV කැමරා රූපරාමු පෙළ Zhu Xian 2 හි ප්‍රවර්ධන වීඩියෝවක් ය යන පිළිතුරට මුල්ම අභියෝගය එල්ල වූයේ පිටසක්වළ ජීවය පිළිබඳව විශ්වාස කරන්නන්ගෙන් නොව ඉහත සඳහන් කළ වීඩියෝ සංස්කරණ ශිල්පීන්ගෙනි. ඔවුන් නැවතත් ප්‍රකාශ කර සිටියේ මෙය කෘතිමව සැකසූ වීඩියෝවක් නොවන බවයි. එය තහවුරු කිරීමට ඔවුන් Perfect World සමාගමේ වෙබ් අඩවියම යොදා ගත්හ. මෙම වෙබ් අඩවියේ ඇතුළත් කර ඇති සුපිරි හැකියාවන් පෙන්වන අනෙකුත් වීඩියෝවන් 2 සහ මෙහි සාකච්ඡා කෙරෙන වීඩියෝව අතර පැහැදිලි වෙනස්කම් ඇති බව ඔවුන්ගේ අදහසයි. ඔවුන්ට අනුව මෙම වීඩියෝව මෙන් නොව අනෙක් වීඩියෝ 2 පරිගණකය ආධාරයෙන් නිර්මිත ඒවා බව පහසුවෙන් හඳුනා ගත හැකිය. එමෙන්ම අනෙකුත් වීඩියෝවන්හි සිටින රංගන ශිල්පිනියට සහ පරිගණක ක්‍රීඩාවේ චරිතයට වඩා මෙම වීඩියෝවේ සිටින ආගන්තුකයාගේ හැඩරුව යම් තරමකින් වෙනස් බවද කියැවේ. අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වුණු වීඩියෝවත්, පසුව Perfect World සමාගම් වෙබ් අඩවියේ පළ වූ වීඩියෝවත් අතරද යම් යම් වෙනස්කම් හඳුනා ගෙන තිබේ. පහත ඇත්තේ ඒවා එකිනෙක හා සංසන්දනය කළ වීඩියෝවකි.
ආන්දෝලනයට තුඩු දුන් වීඩියෝවේ හා අනෙත් වීඩියෝවේ එක් තැනකින් අතුරුදන් වී වෙනත් තැනකින් මතු වීම (Teleportation) සිදු වන ආකාරය පවා වෙනස් බව මින් පෙනේ. වීඩියෝ සියල්ලෙන්ම නිරූපණය වන්නේ එකම චරිතයක් නම්, වීඩියෝ සියල්ලම නිර්මාණය කළේ එක් අයෙකු හෝ කණ්ඩායමක් විසින් නම් ඒවා අතර මෙවැනි වෙනස්කම් තිබිය නොහැක. මේ සියල්ල සළකා බලන විට Perfect World සමාගම විසින් නිකුත් කර ඇති වීඩියෝව, ඊට පෙර YouTube හරහා නිකුත් වූ වීඩියෝව යම් යම් ආකාරයෙන් සංස්කරණය කර සාදන ලද්දක් බව යමෙකුට තර්ක කළ හැකිය. එසේ කරන්නේ ඇයි? නැවතත් වාදයට අවතීර්ණ වී සිටින, වීඩියෝව සත්‍ය යැයි විශ්වාස කරන අයගේ අදහස වන්නේ චීන රජය හෝ වෙනත් බලගතු පාර්ශවයක් මෙම සිදුවීම යටපත් කිරීම සඳහා Perfect World සමාගම මෙහෙයවන බවයි!
ප.ලි. - මා මීට මාස කිහිපයකට පෙර මෙම ලිපිය ලිවීම ආරම්භ කළේ පිටසක්වළ ජීවීන් දුටු බවට කෙරෙන ප්‍රකාශ බොහොමයක් මිනිස් ඇස රැවටීම් හෝ යම් වංචාකාරී ක්‍රියාදාමයන් ය යන්නට උදාහරණයක් සැපයීම සඳහා ය. මීට පෙරද එවැනි සවිස්තරාත්මක ලිපියක් පියාඹන පීරිසි..??? |දෙවන කොටස| නමින් මෙහි පළ කෙරී තිබේ. එහෙත් අවසන් ඡේදයේ සඳහන් වන ආකාරයට මෙහි සත්‍ය අසත්‍ය භාවය පිළිබඳව නැවත වරක් කතිකාවතක් ගොඩ නැගී ඇති බැවින් මෙම ලිපියේ අන්තර්ගතය වෙනස් කිරීමට සිදු විය.කෙසේ වතුදු තවමත් මෙය සත්‍ය යැයි හෝ අසත්‍ය යැයි නිශ්චිතව නිගමනය කිරීමට තරම් සාක්ෂි හමු වී නැත.
No comments:
Post a Comment